Friday, January 25, 2013

*යහ පාලනයක ආර්ථික පිළිවෙත

      රටක ආර්ථිකය සම්බන්ධයෙන් රජය අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳ මත දෙකක් මෑත යුගයේ ප්‍රචලිත ව තිබිණ. එනම්: ආර්ථික කටයුතු පෞද්ගලික අංශයට භාර දී, රජය සියලු ආර්ථික කටයුතුවලින් ඈත් වී සිටිය යුතු ය යන්න හා සියලු ආර්ථික කටයුතු රජය විසින් මෙහෙයවිය යුතු ය යන්න ය.
මෙයින් පළමුවැන්න ධනවාදි අර්ථක්‍රමය ව්‍යාප්ත වීමට ද දෙවැන්න සමාජවාදි අර්ථක්‍රමය ව්‍යාප්ත වීමට ද හේතු විය. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් රජය අනුගමනය කළ මේ ක්‍රියා මාර්ග දෙක අසාර්ථක වූ බව පෙනී ගිය පසු යහ පාලනය සම්බන්ධ වෙනස් අදහසක් ඉදිරිපත් වූයේ ය. එහිදී සාර්ථක රාජ්‍ය ලෙස පෙන්වා දෙන ලද්දේ ආර්ථික කටයුතු සම්පූර්ණයෙන් ම පෞද්ගලික අංශයට භාර දුන් රාජ්‍ය හෝ සියලු ආර්ථික කටයුතු රජය පවරාගත් රාජ්‍ය හෝ නො වේ. රජයේ කාර්යභාරය නිවැරදි ව හැඳිනගෙන, එය පමණක් සපුරාලීමට ඉදිරිපත් වූ රාජ්‍ය සාර්ථකත්වය ලබන බව නිගමනය කරන ලදි. සොයා බැලීමකින් තොර ව හා අවශ්‍ය රාජ්‍ය මගපෙන්වීම හා පාලනය නිසි සේ ඉටු නොකර පෞද්ගලික අංශයට රටක ආර්ථිකය භාරදීම ඉතා භයානක හා අසාධාරණ තත්ත්ව උද්ගත කරවයි. අනෙක් අතට හැම කාර්යයක් ම රජයට පවරා ගැනීමෙන් ද එවැනි ම පරිහානියකට පත් වේ.

රජයේ කාර්යභාරය හඳුන්වා දෙන ‘යහ පාලන’ රාජ්‍ය සංකල්පය තුළ මේ මූලික කරුණු අවධාරණය වේ:
* නෛතික පදනම සැකසීම
* මූල්‍ය ආයතන කාර්යක්ෂම ව පවත්වාගැනීම හා සාර්ව ආර්ථික පරිසරය නිසි අයුරු සැකසීම
* මූලික සමාජ කාර්යයන්හි සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙහි ආයෝජනය කිරීම
* පීඩාවට පත් වන ජන කොටස් රැකගැනීමෙහි ලා කටයුතු කිරීම
* පරිසරය සංරක්ෂණය කිරීම යන කාර්ය එහිදී වැදගත් වේ.
      සුදුසු ව්‍යවස්ථා හා නීති-රීති සම්මත වී තිබුණු කරමින් එය ප්‍රමාණවත් නො වේ. ඒ නීති-රීති හරිහැටි ක්‍රියාවට නැංවීම ද අවශ්‍ය ය. නීති කැඩීමට ඉඩ නොදිය යුතු අතර, සොරකම, අපරාධ සිදු වීම නතර කළ යුතු ය. පාරිභෝගිකයන් සූරා කන වංචා, දූෂණ ආදිය නැති කළ යුතු වන අතර, සාධාරණ බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අවශ්‍ය ය. පෞද්ගලික ව්‍යවසායකයන්ගේ වැරදි, අඩු-පාඩු නැති කිරීමට පමණක් නො ව, ඔවුන් දිරි ගැන්වීමට කළ යුතු කාර්ය ද ඉටු කළ යුතු ය. රජය අනවශ්‍ය දෑ බදා නොගෙන මේ කාර්යය නිසි අයුරු ඉටු කරන්නේ නම් එය කාර්යක්ෂම යහ පාලනයක ස්වභාවය වේ.
රටක පාලනය ද, ආර්ථිකය ද සදාචාරාත්මක විය යුතු බව අවධාරණය කැරෙන බුදු දහමෙන් ඉදිරිපත් වන්නේ යහ පාලනයක් ම ය. එහිදී අනුගමනය කළ යුතු මූලධර්ම සක්විති වත්, අපරිහානීය ධර්ම හා දස රාජ ධර්ම යන සමාජ සදාචාර ධර්ම පද්ධතීන්හි ඇතුළත් වේ.
      රටේ සෑම ජන කොටසකට ම රක්ෂාවරණගුප්තිය සැලසීම රජයක මූලික වගකීම බව පළමු වන සක්විති වතට ඇතුළත් වේ. පළමු සක්විති වතෙහි රටේ ජන කොටස් වෙන් වෙන් ව නම් කර තැබීමෙන් කිසිදු රට වැසියකු අතනොහැර මේ ආරක්ෂාව දිය යුතු බව අවධාරණය වේ. එසේ ම සත් වැනි වගන්තියෙහි මිනිසුන්ට අමතර ව ජීව පරිසරය රැකගැනීමේ වගකීම ද රජයට පැවරේ. වෙන ම නම් වශයෙන් දැක්වෙන ජන කොටස් මෙසේ ය: රජ පවුලේ සාමාජිකයන්, ආරක්ෂක සේවාවලට ඇතුළත් අය, රාජ්‍ය සේවාවන්හි නියුක්තයන්, රටේ ප්‍රභූ පක්ෂය, ගම්-නියම්ගම්හි ජනතාව, පූජ්‍ය-පූජක පක්ෂය සහ සත් වැනි ව මෘගපක්ෂීන් හෙවත් සත්ත්ව ප්‍රජාව ය.
      මෙයින් සමස්ත මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව රැකගැනීමේ වගකීම රජය සතු බව පෙන්වා දෙනු ලැබේ. රක්ෂාවරණගුප්තිය යන්නෙන් ත්‍රිවිධාකාර ආරක්ෂාවක් සැපයීම කියැවෙන බව අටුවාව විස්තර කරයි. ආහාරපාන ආදිය සැපයීමෙන් ලබා දෙන ආරක්ෂාව පළමු වැන්න ය. ආවරණ යනු නිවෙස්, ඇඳුම් ආදිය සැපයීම යි. තෙවැන්න ගුප්තිය යි. එනම් විශේෂ අවස්ථාවන්හිදී සැලසිය යුතු විශේෂ ආරක්ෂක සංවිධානය යි. රටක ආක්‍රමණ වැනි අවස්ථාවලදී, යුද්ධ තත්ත්ව ඇති විට සලසන රැකවරණය එයට අයත් වේ.
මේ විස්තරය අනුව රටවැසියන්ගේ සියලු ආර්ථික කටයුතු රජය විසින් සැපයිය යුතු ය යන්නක් ගම්‍ය වේ යැ යි යමකුට සිතිය හැකි යි. එහෙත් එය එසේ නොවන බව කූටදන්ත සූත්‍රයෙහි ඇතුළත් ආර්ථික සංවිධානය පිළිබඳ විස්තරයෙන් හෙළි වේ. එහි කියැවෙන පරිදි රටේ ආර්ථික සංවිධානය ගොඩනැංවිය යුත්තේ රජයේ ද පෞද්ගලික අංශයේ ද සම්බන්ධය ඇති ව ය.
රටක විවිධ දක්ෂතා ඇති, විවිධ රුචිකම් ඇති පුද්ගලයෝ වෙති. ගොවිතැනෙහි නිරත වීමට කැමැති එවැන්නවුන්ට බීජ ධාන්‍ය, පොහොර, ගවයන්, නගුල් වැනි ගොවි උපකරණ සපයා, ඔවුන්ගේ අස්වැන්න ලබාගන්නා තෙක් ආහාරපාන සැපැයීම රජයේ කාර්යභාරයට අයත් වේ. මෙසේ කෘෂිකර්මය දියුණු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු ලෙස දැක්වේ.
වාණිජ කටයුතු සඳහා උනන්දු වෙන්නෝ වෙති. ඔවුන්ට මූලධනය අවශ්‍ය ය. රජය විසින් එය සැපැයීමට ක්‍රියා කළ යුතු ය. සාර්ථක වාණිජ ව්‍යාපාර බිහි වන්නේ එවිට ය.
රාජ්‍ය සේවා සඳහා කැමැත්තක් දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද රටක දැකිය හැකි යි. ඔවුන්ට රැකියා සැපැයෙන විවිධ කර්මාන්ත බිහි කිරීමත්, විවිධ රාජ්‍ය සේවා ඇරැඹීමත් මගින් රාජ්‍ය අංශය ශක්තිමත් ලෙස පවත්වා ගෙන යා යුතු ය.
      පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා රජයේ දිරි දීම හා රජයේ සහභාගිත්වය, පෞද්ගලික අංශය මෙහෙයැවීමටත් එහි දූෂණ අක්‍රමිකතා නැති කිරීමටත් අවස්ථාවක් රජයට ලබා දෙයි. මහා පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධයෙන් මේ තත්ත්වය ඉතා හිතකර ප්‍රතිඵල ලබා දීමට සමත් වේ.
      සුළු පරිමාණයෙන් නොයෙකුත් ශිල්ප කර්මාන්තයන්හි යෙදෙන්නෝ රැසක් රටක වෙසෙති. ඔවුන්ට අවශ්‍ය දිරි දීම් සොයා බලා සැකැසීම ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථකත්වයට මෙන් ම රටේ පොදු ආර්ථික සංවර්ධනයට ද හේතු වේ.
      බදු ප්‍රතිපත්තිය රට වැසියාට හිතකර පරිදි ගොඩනැංවීම සඳහා ඉදිරිපත් වී ඇති කරුණු ද රැසකි. නුසුදුසු බදු හා නුසුදුසු අවස්ථාවල බදු අය නොකිරීම ඒ අතර ඉතා වැදගත් වේ. රටේ දුෂ්කර සමයන්හි අතිරේක බදු අය කිරීමට ද, ඇතැම් දුෂ්කරතාවන්ට මුහුණ පෑ ජන කොටස් සඳහා සමෘද්ධිමත් පුද්ගලයන්ගෙන් විශේෂ බදු අය කිරීම ද කාලානුරූප ව කිරීම අනුදැන ඇත.
      පවුල නම් වූ කුඩා ම සමාජ ඒකකය සුරක්ෂිත වූ ද ස්ථාවර වූ ද පදනමක පිහිටුවීම රජයක වගකීමකි. දරුවන් සමඟ පී‍්‍රතියෙන් බිය සැකයෙන් තොර ව මිනිසුන්ට ගෘහ ජීවිතය ගත කිරීමට හැකි වන අයුරු පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කූටදන්ත සූත්‍රයෙහි පෙන්වා දී තිබේ. මේ සඳහා රටේ කැරලි, සොරකම් ආදිය නැති ව යා යුතු ය. මිනිසුන් කණ්ඩායම් ගැසී මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවලට පෙලඹෙන්නේ ඔවුන්ට කළ හැකි රැකියා රටෙහි නැති වූ විට ය. ඒ නිසා වැඩ කළ හැකි හැම රට වැසියකුට ම යෙදීමට ජීවනෝපාය සලසාගැනීමට රැකියාවක්, වෘත්තියක්, ශිල්පයක්, කර්මාන්තයක් හෝ සේවාවක් තිබෙන බවට රජය වගබලාගත යුතු ය.
      මෙයින් පැහැදිලි ව පෙන්වා දී ඇත්තේ රටවැසි සැමගේ සියලු අවශ්‍යතා සපයා දීම රජයේ කාර්යයක් ය යන්න නො වේ. එය කවර අයුරින් හෝ සිදු වන බවට වගකීම රජය දැරිය යුතු යි. රැකියා අවස්ථා සැපැයෙන පරිදි පෞද්ගලික අංශය මෙහෙයවීම රජය සතු වගකීම ය. එසේ ම ජනතාව පීඩාවට පත් නොවන අයුරු, දූෂණය, අපරාධ, සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීම රජය සතු වගකීම ය. සක්විති වත්හි එක වගන්තියකින් කියැවෙනුයේ රටේ අපරාධ සිදු නොවන පරිදි සාමය පවත්වාගෙන යෑමේ වගකීම රජය සතු වන බව ය.
      ධනවාදි ආර්ථිකයක පෞද්ගලික අංශය මෙන්, මිනිසා ද ආර්ථික භාණ්ඩ බවට පත් කරගත්, ලාභය එක ම අරමුණ වූ නිහීන තත්ත්වයකට, බෞද්ධ සදාචාරය විසින් හැසිරැවෙන ආර්ථික පෞද්ගලික අංශය කිසි විටෙක පත් නො වේ. එහෙත් පෞද්ගලික අංශය විසින් එතරම් සැලකිල්ලක් නොදැක්වෙන සමාජ කොටස් රටක තිබිය හැකි යි. සමාජ සේවාවන්හි නිරත වුව ද එවැනි කොටස් සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට පෞද්ගලික අංශය අපොහොසත් විය හැකි යි. එසේ ම රජයකට විනා සාර්ථක ව මුහුණ දිය නොහැකි භෞතික වූ හෝ සමාජීය වූ හෝ ප්‍රශ්න රටක පැනනැඟීමට අවකාශ තිබේ. මේ නිසා රජය විශේෂයෙන් සොයා බැලිය යුතු අංශ කිහිපයක් ද වෙයි:

* නිෂ්පාදන ආර්ථිකයට සහභාගි නොවන පැවිදි පිරිස්
* විවිධාකාර ශාරීරික මානසික ආබාධයන්ගෙන් පෙළෙන අසරණ පිරිස්
* යුද්ධ, කෝලාහල, ගැටුම් පවතින අවස්ථාවන්හිදී අනාථ වන පිරිස්
* ආපදාවන්ට ලක් වී අනාථ වන ජනතාව

මෙවැනි ජන කොටස් කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය සැපයීම අත්‍යවශ්‍ය කාර්යයකි.
මෙතෙක් සාකච්ඡා කළ කරුණුවලින් හෙළි වනුයේ යහ පාලනයක අපේක්ෂිත සියලු යහපත් ලක්ෂණ බුදු දහමෙහි රාජ්‍ය පාලන උපදෙස් තුළ ඇතුළත් බව යි. තව ද කරුණු රැසක් සූත්‍ර ධර්මයන්හි දක්නට ලැබෙතත්, ආර්ථිකය සංවිධානයෙහි ලා රාජ්‍ය අංශයෙන් බලාපොරොත්තු වන කාර්යභාරය තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත් ය.
-ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි

Tuesday, January 22, 2013

*යුග දිවියට බුදුදහමින් උපදෙස්



  මළමිනියක් හා
    දෙව්දුවක හා    ජීවත් වෙනවාද?



          බෞද්ධ සාහිත්‍යයේ මෙබදු සිදුවීමක් ගැන සදහන්ව තිබේ. දිනක් සක්දෙව් රජ විසින් මනු ලොව දෙසට වන්දනා කරනු ලබයි. සිය රියදුරු මාතලී දිව්‍ය පුත්‍රයා මේ පිළිබද කළ විමසීමකදී සක් දෙවිදු ප්‍රකාශ කළේ මෙවැන්නකි. 

               "යේ ගහට්G පු[a[කරා 
               සීලවතෝ උපාසකා 
               ධම්මේන දාරං පොසන්කී 
               තං නමස්සාමි මාතලී"

          මාතලී යම්කිසි ගිහි උපාසකයෙක් කුසල් දහම් රැස්කරමින් තම භාර්යාව ධර්මානුකූලව පෝෂණය කරන්නේ නම් මම ඔහුට නමස්කාර කරමි...." යන්න එහි අදහසයි.
         මෙයින් පෙනී යන්නේ බෞද්ධ ගිහි උපාසකයා යනු විවාහක තැනැත්තෙකු ලෙස පිළිගත් බවයි. බෞද්ධ ඉගැන්වීම් අතර විවිධ සූත්‍ර දේශනාවල ගිහියා යනු විවාහක පුද්ගලයකු සේ සලකා කළ දේශනා දක්නට ලැබේ. සිඟාලෝවාද, මංගල, පරාභව,වසල වැනි සූත්‍රවල පැහැදිලි කර ඇති ගිහි විනය හා යුතුකම්, වගකීම් පද්ධතිය වලංගු වන්නේ විවාහක ගිහි උපාසකයාටයි. අනොන්‍ය විශ්වාසයෙන් හා ආදරයෙන් බැඳී සිටින විට ප්‍රේමණීය යුවතිපතියන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්විය. නකුලමාතා - නකුලපිතා එවැනි යුවලකි. අවිවාහක හෙවත් අඹූසැමි සබඳතාවන්ගෙන් තොරව ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී පිළිවෙතක් ලෙස පිළිගන්නා බුදුසමය, ස්වදාර සන්තුෂ්ටියෙන් ගතකරන ජීවිතය ගෘහස්ථ බ්‍රහ්මචරියාව ලෙස පිළිගනී. තම බිරිඳගෙන් පමණක් සතුටු වන, පරදාර සේවනයෙන් තොරවූ ගිහි උපාසකයා ගත කරන්නේද "බ්‍රහ්මචාරී දිවි පෙවතකි" යන්න මින් තහවුරු වෙයි. එය ගිහි බඹසර නම් වේ. 
 මේ අනුව විවාහය යනු යහපත් මිනිසෙක් හා යහපත් ගැහැනියක් එක්වීමෙන් ගොඩනගන සදාචාර සම්පන්න ප්‍රතිපත්ති පිරීමක් බව පිළිගත හැකිය. එය සැමියා වෙනුවෙන් බිරිඳ විසින් පුරනු ලබන පතිවත හා සිය බිරිය වෙනුවෙන් සැමියා විසින් පුරනු ලබන පතිවත විවාහයක උදාරතර අරුත සනිටුහන් කරයි. විවිධ අදහස්, සිතුම් පැතුම් සහිත දෙදෙනෙක් විවාහය නැමති රැහැනින් එක්වී එක් අරමුණක ගමන් කිරීම විශිෂ්ට වූ ප්‍රතිපදාවකි. බුදු සමය වැනි උදාරතර ආගමක් එම ප්‍රතිපදාවේ සැබෑම යථාර්ථය සමාජයට තිලිණ කරයි. යහපත් බිරිඳක් හා සැමියෙක් එකට වාසය කිරීමේදී ඉස්මතුවන විවිධ ගැටලූ තම යුග දිවියට බාධකයක් බවට පත් කර නොගනී. ඔවුනොවුන් බුද්ධිමත්ව සාකච්ඡා කොට එම අභියෝග ජයගනී. මේ අනුව විවාහයේදී අඹුසැමියන්ගේ සිතුම් පැතුම් වල සමාන අසමානකම් සැලකිල්ලට ගෙන සතර ආකාරයේ පවුල් සංස්ථාවක් ගැන බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දෙයි. එනම්,
1. මළමිනියක් මළමිනියක් හා විසීම 
2. මළමිනියක් දෙව්දුවක හා විසීම 
3. දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම 
4. දේව පුත්‍රයෙක් මළමිනියක් හා විසීම 
       මෙහිදී මළමිනියක් ලෙස අර්ථ දක්වා ඇත්තේ අදැහැමි, උදාසීන පහත් ගති සිරිත් ඇති ගැහැනුන් හා මිනිසුන්ය. සදාචාර සම්පන්න විනීත ගති පැවතුම් ඇති ස්ත්‍රී පුරුෂයන් දේව යන්නෙන් අදහස් කරයි. බිරිඳත්, සැමියාත් දෙදෙනාම ප්‍රගතිශීලී ගති පවතුමින් තොරව උදාසීනව හා දුසිරිතට බරව ජීවිත ගත කරන්නේ නම් ඒ පවුල් සංස්ථාව දියුණුවට පත් නොවන්නා සේම අතෘප්තිමත් හා අසහනයෙන් යුතුව කල්ගත කිරීමට සිදුවේ. ඉවසීමෙන් තොරව ජීවන ගැටලූ හිස මත රුවාගෙන අඩදඹර හා කලකෝලාහල වලින් යුතුව පවුල් ජීවිත ගත කරන අඹුසැමියෝ විවාහය නැමති උතුම් පිළිවෙත ඉතා අභාග්‍ය සම්පන්න ලෙස විනාශයට පත් කර ගනී. දේව පුත්‍රයෙක් බඳු සැමියෙකු දෙව්දුවක් වැනි බිරිඳක් සමග ගත කරන සුන්දරවූ පුණ්‍යවන්ත ජීවිතය මුළුමහත් මානව සමාජයටම ආශිර්වාදයකී. ඔවුන්ගෙන් බිහිවන දරු සම්පත අනිවාර්යයෙන්ම දේව දූතයන්සේ ලෝකය සුවපත් කරන්නට හුරුපුරුදු වෙති. යහපත් යුග දිවියකට "බිරිඳ" යන සාධකය ප්‍රබල ලෙස බලපානු ලබයි. බිරියගේ ඇතැම් ගති පැවතුම් සැමියාගේ චර්යාවන් වුවද යහපත් හා ගුණාත්මක බවකින් පවත්වා ගැනීමට සමත් වෙති. එවැනි භාර්යාවන් සත් දෙනකු ගැන බුදුදහමේ දැක්වෙන්නේ මෙසේය.
1. වධක සම (වධකයකු වැනි බිරිඳක්) 
2. චෝරි සම (සෙරක් වැනි බිරිඳක්) 
3. අය්‍ය සම (අධිපනියක වැනි බිරිඳක්) 
4. මාතු සම (මවක් වැනි බිරිඳක්) 
5. භගිනි සම (නැගණිය වැනි බිරිඳක්) 
6. සබී සම (මිතුරියක වැනි බිරිඳක්) 
7. දාසි සම (දාසියක වැනි බිරිඳක්) 
මෙයින් මුලින්ම දැක්වෙන තුන්දෙනා ඉතාමත් අයෝග්‍ය බවත් සෙසු සිව් දෙනා යහපත් බවත් පෙනී යයි. ලිංගිකත්වය ඇතුළු ලෞකික ආශාවන්ගේ ආකර්ෂණය ස්ත්‍රීතත්වය හා පුරුෂ භාවය සමීප කරවන්නේ ලෝකස්වභාවයට අනුවයි. එම මනෝ මූලික අවශ්‍යතා හා ආකර්ෂණයන් පහව ගිය විට පහළ වන ප්‍රතික්කූලතාවය බොහෝ විට අනෙකාගේ ගුණ මකා දොස් ඉස්මතු කරයි. ජීවිතයේ සැබෑ ස්වභාවය හා සිය සහකරුගේ හෝ සහකාරියගේ අගය වටහා ගත් තැනැත්තෝ ඔවුනොවුන්ගේ අවබෝධය හා විශ්වාසය පදනම් කරගත් විශිෂ්ට වූ විවාහ දිවියක් ගත කරති.






Monday, January 21, 2013

*පණ්ඩිතයා හඳුනා ගන්නේ කෙසේද?

         "එයා හරිම පණ්ඩිතයි. අපෝ එයත් එක්ක වැඩක් කරන්න බැහැ. එයා පණ්ඩිත වැඩියි. කියන කිසි දෙයක් අහන්නේ නෑ. පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැහැ" ආදී ලෙස සාමාන්‍යයෙන් පණ්ඩිතයා පිළිබඳ අප කතා කරයි. එක් එක් පුද්ගලයා පිලිබඳ ඒ අනුව විග්‍රහ කරයි. එත් ඇත්තටම පණ්ඩිතයා යනු කවරෙක්ද යන්න පිළිබඳව නිවැරදි වැටහීමක් අපට තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. සාමාන්‍ය විග්‍රහයේදී අප පණ්ඩිතයකු ලෙස හඳුනා ගන්නේ කියන දෙය නොඅසන, තනි මතයට වැඩ කරන, අන් අය සමග සුහදශීලී ලෙස වැඩ කළ නොහැකි, හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්වය. එසේ වුවත් බුදුදහම පණ්ඩිතයා පිළිබඳව සාකච්ඡා කරන්නේ එයට හාත්පසින්ම වෙනස් වූ අර්ථ විග්‍රහයකිනි. සාමාන්‍යයෙන් අප වටහා ගෙන ඇති ස්වරූපයට වඩා වෙනස් ලෙසිනි. ඒ නිසා මෙහිදී උත්සහ කරන්නේ බුදුදහමට අනුව පණ්ඩිතයා පිලිබඳව කෙටි විමසීමක් සිදු කිරීමටයි. පණ්ඩිතයාගේ ලක්ෂණ හා ඔහුගේ ස්වරූපය පිළිබඳව අංගුත්තර නිකායේ තික නිපාතයෙහි බාල වග්ගයෙහි කරුණු ගණනාවක් දැක්වෙයි. එනම් :-
  •  යහපත් සිතිවිලි සිතයි.
  •  යහපත් වචන කතා කරයි.
  •  යහපත් දේ සිදුකරයි.
  •  වරද වරද වශයෙන් දකියි.
  •  වරද වරද වශයෙන් පෙන්වා දුන් විට පිළිගනියි.
  •  වරද වරද වශයෙන් පිළිගෙන ඊට නිසි පිළියම් සිදු කරයි.
  •  නුවණින් ප්‍රශ්න අසයි.
  •  අර්ථවත් ලෙස අනුන් විසඳූ විසඳුම පිළිගනියි.
  •  උවදුරු රහිත වෙයි.
  •  බිය රහිත වෙයි.
  •  විපත් රහිත වෙයි. යනුවෙනි.
        ඒ වගේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහිද පණ්ඩිතයා යනු කවරෙක්ද යන්න පිළිබඳව කරුණු දැක්වේ. ඒ මේ ආකාරයෙනි.
  •  ශ්‍රද්ධාවන්ත වේ.
  •  ශීලවන්ත වේ.
  •  පවට ලැජ්ජා වෙයි.
  •  පවට බිය වෙයි.
  •  වීර්යවන්ත වෙයි.
  •  බොහෝ කුසල් රැස්කරන්නෙක් වේ.
        එමෙන්ම ධම්මපදයෙහි බාලවග්ගයේ සඳහන් වන්නේ යම් පුද්ගලයකු තමාගේ අනුවණකම දන්නේ නම් ඒ තැනැත්තා පණ්ඩිතයකු බවයි. (යො  බාලො ම[a[ති බාල්‍යං - පණ්ඩිතො වාපි තෙන සො)
    මේ අනුව බුදුදහම පණ්ඩිතයා පිළිබඳව විග්‍රහ කරන්නේ සාමාන්‍ය අර්ථ විග්‍රහයෙන් පරිබාහිරව බව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. ඒ වගේම විභාග සමත් කළ පමණින්ම පුද්ගලයකු පණ්ඩිතයකු නොවන බවද තේරුම් ගත යුතුය. ඒ නිසා පිළිවෙත් සරු නැණ ගුණයෙන් යුතු පුද්ගලයාම පණ්ඩිතයකු බව වටහා ගත යුතු වේ.
                                                                                          -ශාස්ත්‍රපති පූජ්‍ය උඩබද්දාවේ අස්සජී හිමි

Sunday, January 20, 2013

*කයෙහි තිබෙන ඇත්ත

කයෙහි තිබෙන ඇත්ත ගැනම පවතීවා නිතර සිහිය…

    සැබැවින්ම ගෞතම බුදුරජුන්ගේ ධර්මය අසිරිමත් එකකි. කා – බී – වැතිර කාම සැපයම ජීවිතයේ එකම අරුත වශයෙන් ගෙන, සසරේ අතරමංව සැරිසරන දෙව් මිනිස් ලෝකයාට ඒ නිස්සාර සසරෙන් එතෙර වී සදාතනික සැපය සාක්ෂාත් කරන්නට මග විවර කර දෙන්නේ ඒ ශ‍්‍රී සද්ධර්මය පමණි. මායා මෝහ පටල දුරලා ජීවිතයේ සැබෑ ස්වභාවය පෙන්වා දෙන ඒ ශ‍්‍රී සද්ධර්මය කෙනෙකුට අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇතැම් විට ඒ සඳහා කල්ප ගණනාවක් වුවත් ගතවන්නට පුළුවනි.

එහෙත්…. පිපාසයට පැන් බිඳක් හෝ නොමැතිව නිරුදක කතරක අතරමංව, ක්ලාන්ත වී සිටින මිනිසෙකුට පැන් දෝතක් ලැබුණොත් ඔහුට ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි අන්දමේ පිහිටකි. එලෙසින්ම සසරේ අතරමංව නිරයෙන් – නිරයට, අපායෙන් – අපායට යමින් කෙළවරක් නොපැණෙන සසරක සැරිසරන මනුෂ්‍යයෙකුට මේ ශ‍්‍රී සද්ධර්මය අමෘතය බඳුය. කෙලෙස් පිපාසය සංසිඳුවයි. නිරුදක කතරට වඩා සැම අතින්ම බියකරු සසර කතරින් එතෙර කරවයි. එහෙත් ඒ සොඳුරු මොහොත දැන් ඔබට උදා වී තිබේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නුවණ මෙහෙයවිය හැකි නම්….. ඔබ සැබැවින් ම වාසනාවන්ත ය. මෙම සටහන ඒ සඳහා ඔබට අවස්ථාව විවර කරදීමට ගන්නා සුළු උත්සාහයකි.

උපන් දා පටන් ‘මගේ, මගේ’ යැයි පවසමින් උජාරුවෙන් ලොවට හඬ ගා කියන්නට වෙර දරන ඔබේ ඔය සිරුර දෙස මොහොතක් හැරී බලමු. සෑම දිනකම නොවරදවාම නහවන, ඉලීම් – පිරිමැදීම් ආදියෙන් පිරියම් කරන, සුවඳ පැන් – විලවුන් ගල්වන, ආහාර ආදියෙන් පෝෂණය කරවන, නානාප‍්‍රකාරයේ ඇඳුම් ආයිත්තම් ආදියෙන් හැඩ වැඩ කරන්නට වෙහෙස දරන මේ සිරුරේ සැබෑ ස්වභාවය කෙබඳු දැයි ඔබ කෙදිනක හෝ සිතා තිබේද?

ජීවිතයේ සැබෑ තතු නොදන්නා මිනිසුන් මේ ‘කය’ සාරවත් දෙයක් ලෙස සිතුවද, ජීවිතය අවබෝධ කොට ලොවට නොඇලී, ලොවින් නිදහස් වූ මුනිවරු නම් ඇට, මස්, නහරින් ගැවසී ගත් කය දෙස බැලූවේ මේ අයුරිනි.

“මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒ අය මේ ශරීරය විසිතුරු ලෙස සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නැහැ.

මුතු මැණික් ආභරණවලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වය මයි දැකිය යුත්තේ. ලස්සනට පේන්නේ ඇඳුම නිසා.

යටි පතුල් පාට කොට තිබුණ ද, සුවඳ බුලත්විට කා මුඛය සුවඳ කරගෙන හිටිය ද, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ.

කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට එයින් වැඩක් නැහැ.

මේ කුණු ශරීරය තියාගන්නට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ.”

                                                                                    (රට්ඨපාල තෙරුන් ගේ ගාථා – ථේර ගාථා)

මෙබඳු වූ ස්වභාවයකින් යුතු කය පිළිබඳව සැබෑ තත්වය නොදන්නා පුහුදුන් ජනයා මේ කය සම්බන්ධයෙන් දක්වන පුරාජේරුව කොතරම් මහත්ද? එයට හේතුව කයෙහි සැබෑ ස්වභාවය නොදන්නාකම ම විනා අන් කවරක්ද?

වෙළඳපලෙහි ඇති නානා මාදිලියේ සුවඳ විලවුන් වලින් වසන්නට තැත් කරන්නේ ඒ කයෙන් හමනා දුගඳ ය. විවිධාකාරයේ ආලේපන වලින් මකා දමන්නට තැත් කරන්නේ රැළි වැටී යන සම ය. නොයෙක් නම් වලින් යුතු සබන් ආදියෙන් පිරිසිදු කරන්නට උත්සාහ ගන්නේ සිරුරෙහි වන අපිරිසිදු දෑ ය. එහෙත්…. නිරන්තරයෙන් අපිරිසිදු දේ වහනය වන මේ කය පිරිසිදු කොට අවසන් කිරීමක් නැත!

නමුත් අපට එක් දෙයක් කළ හැකිය. එනම් කය අවබෝධ කිරීමයි. කය අවබෝධ කොට, කයෙන් නිදහස් විය හැකිය. එවිට නම් නැවත නැවතත් කය පිරිසිදු කිරීමක් නැත. සුවඳ විලවුන්, සුවඳ පැන්, ආලේපන ආදියෙන් ද සදහටම නිදහස් විය හැකිය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.

වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? එ් නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”

                                                                                                   (නකුලපිතු සුත්ත – ස.නි.)

අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?

උපන් දා පටන් (බොහෝ විට මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්ඡුකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ – නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.

එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”

                                                                                                        (මාගන්දිය සුත්ත – සු.නි.)

සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.

මෙතරම්ම අපිරිසිදු, මෙතරම්ම පිළිකුල් දෙයින් නිමැවී මේ කය දෙස සුන්දර ලෙස බලන්නට අප පෙළඹුණේ මක් නිසාදැයි ඔබ කල්පනා කොට තිබේද? අපගේ ශාස්තෘන් වහන්සේ එය පැහැදිළි කළ සේක. අවිද්‍යා අන්ධකාරය තුළ සිටින සත්වයා යමක් හඳුනාගන්නේ එහි සත්‍යය ස්වභාවයෙන් ම නොවේ. එය ධර්මයෙහි හඳුන්වන්නේ ‘සඤ්ඤා විපල්ලාසය’ හෙවත් විපරීත හඳුනාගැනීම වශයෙනි. එම විපරීත හඳුනාගැනීමට අනුව අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීමටත්, දුක් දේ සැප ලෙස දැකීමටත්, අනාත්ම (ස්වකීය වසඟයෙහි පවත්වාගත නොහැකි) දේ ආත්ම ලෙස දැකීමටත්, අසුභ දේ සුභ වශයෙන් දැකීමටත් තරම් මුලා වී සිටිති.

යථාර්ථය දැකීම යනු මෙය නොවේ. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකීමත්, දුක් දේ දුක් හැටියට දැකීමත්, අනාත්ම දේ අනාත්ම හැටියට දැකීමත්, අසුභ දේ අසුභ හැටියට දැකීමත් යථාර්ථයයි. අහෝ! සසරෙහි සැරිසරන අප කොතරම් මුලා වී ඇද්ද?

මේ මුලාවෙන් අපව මුදවා ගන්නේ සියල්ල දන්නා, සියල්ල දක්නා, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මුල මැද අග පිරිසිදු ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි ලෙස අර්ථ මතුවන ආකාරයට පරිපූර්ණ වූ නිවන් මඟ දේශනා කරන ලද්දේ ඒ උදෙසා ය. උන්වහන්සේ විසින් දේශිත ඒ ශ‍්‍රී සද්ධර්මය මුළුමනින්ම යොමු වී ඇත්තේ මේ මෝහ ජාලය බිඳ හැර සත්‍යාවබෝධ කරවන්නට ය. අවිද්‍යා අන්ධකාරය දුරු කොට ප‍්‍රඥාවේ ආලෝකය තුළින් සදාතනික ශාන්තිය උදාකර දීම පිණිස ය. කයෙහි යථා ස්වභාවය දෙස අප බැලිය යුත්තේ යථෝක්ත පාරිශුද්ධ අරමුණ මුදුන්පත් කරගැනීම පිණිස ය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.

වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? ඒ නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”

                                                                                             (නකුලපිතු සුත්ත – ස.නි.)

අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?

උපන් දා පටන් (ඇත්තෙන්ම මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්චකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ – නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.

එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”

                                                                                                                 (මාගන්දිය සුත්ත – සු.නි.)

සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.

කයෙහි යථා ස්වභාවය මැනැවින්ම දන්නා අයෙක් වේ නම්, ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. ලෝක සත්වයා මුලාවෙන් මුලාවට පත්වන්නා වූ මේ කයෙහි ඇත්ත ස්වභාවය බැලූ බැල්මට අපට ප‍්‍රකට නොවේ. එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට නුවණින් යුතුව විමසා බලන විට ය, මෙතෙක් කල් සුන්දරත්වයේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් සිතා සිටි මේ ශරීරයෙහි සත්‍ය ස්වභාවය පැහැදිලි වන්නේ.

කය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම්ම පුළුල් දැයි අපට යන්තමට හෝ සිතාගත හැක්කේ මෙබඳු සදහම් දෙසුම් සැදැහැ සිත් පුබුදුවාගෙන කියවා බලන කල්හි ය.

“මහණෙනි, බොහෝ වසර ගණනක් පැරණි ගඬුවක් (සැරව ගලන තුවාලයක්) යම් සේ වේද,එපරිද්දෙන් ම මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.

මහණෙනි, සැරව ගලන තුවාලය යනු සතර මහා භූතයින්ගෙන් හටගත්, මව් පියන්ගේ එක් වීමෙන් සම්භවය වූ, බත් මාළුපිණි ආදියෙන් වැඩෙන, අනිත්‍ය වූ ස්වභාව ඇති, ඉලීම් පිරිමැදීම් ආදියෙන් පවත්වාගත යුතු, වහා බිඳී යන ස්වභාව ඇති මේ කයට නමකි. මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.

එම නිසා මහණෙනි, මේ කය කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙන්න.”

                                                                                                            (ගණ්ඩෝපම සුත්ත – අ.නි.)

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අතිශය සෝභමාන වූ සම්බුදු සිරුරකට උරුමකම් කියූ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ මේ ශරීරයේ සැබෑ ස්වභාවයයි. මෙලෙසින් සත්‍යය තත්වය දකින්නට උන්වහන්සේ තම ශ‍්‍රාවකයන්ව පවා යොමු කරන ලද්දේ කාගේත් දෑස් අරවන අන්දමිනි.

වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.

“වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී,යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”

                                                                                                                    (වක්කලී සූත්ත – ස.නි.)
අනාවරණ ප‍්‍රඥා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට ඇති එකම මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තම ශ‍්‍රාවකයන්ව මැනැවින් හික්ම වූ අන්දම සැබැවින් අසිරිමත් ය. ඒ සොඳුරු දහම සාක්ෂාත් කළ උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලා ද කය දෙස බැලූවේ ලෝකයේ සාමාන්‍ය ජනයා දකින ආකාරයකින් නොවේ. අවිද්‍යා මෝහාන්ධකාරය සිඳබිඳලා සසරෙන් එතෙරට වැඩි ඒ මුනිවරුන්ගේ අවබෝධය දෙස මොහොතක් නෙත් යොමා බලන්න.

“එම්බා ඇටසැකිල්ලකින් කරවන ලද කුටියක් ඇති තැනැත්තිය, මස් නහරින් මසා දැමූ සිරුරක් ඇති කාන්තාව, අසුචි පිරුණු දුගඳ හමන සිරුරක් ඇති තැනැත්තිය, ඔවැනි ස්වභාවයකින් යුතුව සිට ගෙනද අනුන්ගේ සිරුර දෙස ‘මගේ… මගේ…’ යැයි සිතන තිට නින්දා වේවා!

එම්බා අසුචි පුරවා ගත් මල්ලක් වැනි සිරුරක් ඇති තැනැත්තිය, සමකින් වැසී ගිය සිරුරකින් යුතු තැනැත්තිය, පපුවේ ගෙඩි හදා ගත් තැනැත්තිය, පේ‍්‍රතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුර පුරා නිරන්තරයෙන්ම අසුචි වැගිරෙන තැන් නවයකි.

නව ද්වාරයකින් අසුචි වැගිරෙන තිගේ සිරුර ඉතා දුගඳයි. නිවන් දකින්නට ඇති විශාලම බාධාව ඔබේ ඔය සිරුරයි. නිකෙලෙස් ජීවිතයක් ගත කරන්නට කැමැති භික්ෂුව ඔය අසුචි වළ දුරු කළ යුතුමයි.

මා මේ අසුචියෙන් යුතු සිරුර ගැන දන්නේ දේ වෙනත් කෙනෙක් දන්නවා නම්, ඔහු මේ ස්ත‍්‍රිය බැහැර කරන්නේ වර්ෂා කාලයේදී උතුරා පිටාර ගලන වැසිකිළි වළක් දුරුකරන පරිද්දෙනි.”

                                                                                           (මහා මොග්ගල්ලාන ථේර ගාථා – ඛු.නි.)

මේ ස්වභාවය නොදත් සියල්ලන්ටම සිදුවූයේ ඉමක් කොණක් නොපෙනෙන සසරෙහි සැරිසරන්නටය. සැරිසරමින් දුක් විඳින්නට ය. කෙස් රොදින් පහළටත්, යටි පතුළෙන් උඩටත් සමකින් වට වූ මේ සිරුරෙහි සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තෝ සසරෙන් එතෙරට වැඩියහ.

එබැවින්….

නුවණ මෙහෙයවා යමක් සිතන්නට හැකි මිනිසත් බව ලද මේ මොහොතෙහි, කල්ප සියයකින් පවා ලබන්නට දුර්ලභ වූ සම්බුදු සසුනක් මුණ ගැසුණු මේ උතුම් මොහොතෙහි, බඹයක් පමණ වූ සිරුරක යථාර්ථය නොදැන, අල්ප වූ ආශ්වාදයකට මුලා වී තවදුරටත් මේ ඝෝර සසරේ අප සැරිසැරිය යුතු නොවේ. නුවණින් විමසා සත්‍යය පසක් කරන්නට තවත් ප‍්‍රමාද වන්නේ කුමටද?

                                                                                                                         - මීරිගම ඉන්දවංශ හිමි