Friday, January 25, 2013

*යහ පාලනයක ආර්ථික පිළිවෙත

      රටක ආර්ථිකය සම්බන්ධයෙන් රජය අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳ මත දෙකක් මෑත යුගයේ ප්‍රචලිත ව තිබිණ. එනම්: ආර්ථික කටයුතු පෞද්ගලික අංශයට භාර දී, රජය සියලු ආර්ථික කටයුතුවලින් ඈත් වී සිටිය යුතු ය යන්න හා සියලු ආර්ථික කටයුතු රජය විසින් මෙහෙයවිය යුතු ය යන්න ය.
මෙයින් පළමුවැන්න ධනවාදි අර්ථක්‍රමය ව්‍යාප්ත වීමට ද දෙවැන්න සමාජවාදි අර්ථක්‍රමය ව්‍යාප්ත වීමට ද හේතු විය. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් රජය අනුගමනය කළ මේ ක්‍රියා මාර්ග දෙක අසාර්ථක වූ බව පෙනී ගිය පසු යහ පාලනය සම්බන්ධ වෙනස් අදහසක් ඉදිරිපත් වූයේ ය. එහිදී සාර්ථක රාජ්‍ය ලෙස පෙන්වා දෙන ලද්දේ ආර්ථික කටයුතු සම්පූර්ණයෙන් ම පෞද්ගලික අංශයට භාර දුන් රාජ්‍ය හෝ සියලු ආර්ථික කටයුතු රජය පවරාගත් රාජ්‍ය හෝ නො වේ. රජයේ කාර්යභාරය නිවැරදි ව හැඳිනගෙන, එය පමණක් සපුරාලීමට ඉදිරිපත් වූ රාජ්‍ය සාර්ථකත්වය ලබන බව නිගමනය කරන ලදි. සොයා බැලීමකින් තොර ව හා අවශ්‍ය රාජ්‍ය මගපෙන්වීම හා පාලනය නිසි සේ ඉටු නොකර පෞද්ගලික අංශයට රටක ආර්ථිකය භාරදීම ඉතා භයානක හා අසාධාරණ තත්ත්ව උද්ගත කරවයි. අනෙක් අතට හැම කාර්යයක් ම රජයට පවරා ගැනීමෙන් ද එවැනි ම පරිහානියකට පත් වේ.

රජයේ කාර්යභාරය හඳුන්වා දෙන ‘යහ පාලන’ රාජ්‍ය සංකල්පය තුළ මේ මූලික කරුණු අවධාරණය වේ:
* නෛතික පදනම සැකසීම
* මූල්‍ය ආයතන කාර්යක්ෂම ව පවත්වාගැනීම හා සාර්ව ආර්ථික පරිසරය නිසි අයුරු සැකසීම
* මූලික සමාජ කාර්යයන්හි සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙහි ආයෝජනය කිරීම
* පීඩාවට පත් වන ජන කොටස් රැකගැනීමෙහි ලා කටයුතු කිරීම
* පරිසරය සංරක්ෂණය කිරීම යන කාර්ය එහිදී වැදගත් වේ.
      සුදුසු ව්‍යවස්ථා හා නීති-රීති සම්මත වී තිබුණු කරමින් එය ප්‍රමාණවත් නො වේ. ඒ නීති-රීති හරිහැටි ක්‍රියාවට නැංවීම ද අවශ්‍ය ය. නීති කැඩීමට ඉඩ නොදිය යුතු අතර, සොරකම, අපරාධ සිදු වීම නතර කළ යුතු ය. පාරිභෝගිකයන් සූරා කන වංචා, දූෂණ ආදිය නැති කළ යුතු වන අතර, සාධාරණ බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අවශ්‍ය ය. පෞද්ගලික ව්‍යවසායකයන්ගේ වැරදි, අඩු-පාඩු නැති කිරීමට පමණක් නො ව, ඔවුන් දිරි ගැන්වීමට කළ යුතු කාර්ය ද ඉටු කළ යුතු ය. රජය අනවශ්‍ය දෑ බදා නොගෙන මේ කාර්යය නිසි අයුරු ඉටු කරන්නේ නම් එය කාර්යක්ෂම යහ පාලනයක ස්වභාවය වේ.
රටක පාලනය ද, ආර්ථිකය ද සදාචාරාත්මක විය යුතු බව අවධාරණය කැරෙන බුදු දහමෙන් ඉදිරිපත් වන්නේ යහ පාලනයක් ම ය. එහිදී අනුගමනය කළ යුතු මූලධර්ම සක්විති වත්, අපරිහානීය ධර්ම හා දස රාජ ධර්ම යන සමාජ සදාචාර ධර්ම පද්ධතීන්හි ඇතුළත් වේ.
      රටේ සෑම ජන කොටසකට ම රක්ෂාවරණගුප්තිය සැලසීම රජයක මූලික වගකීම බව පළමු වන සක්විති වතට ඇතුළත් වේ. පළමු සක්විති වතෙහි රටේ ජන කොටස් වෙන් වෙන් ව නම් කර තැබීමෙන් කිසිදු රට වැසියකු අතනොහැර මේ ආරක්ෂාව දිය යුතු බව අවධාරණය වේ. එසේ ම සත් වැනි වගන්තියෙහි මිනිසුන්ට අමතර ව ජීව පරිසරය රැකගැනීමේ වගකීම ද රජයට පැවරේ. වෙන ම නම් වශයෙන් දැක්වෙන ජන කොටස් මෙසේ ය: රජ පවුලේ සාමාජිකයන්, ආරක්ෂක සේවාවලට ඇතුළත් අය, රාජ්‍ය සේවාවන්හි නියුක්තයන්, රටේ ප්‍රභූ පක්ෂය, ගම්-නියම්ගම්හි ජනතාව, පූජ්‍ය-පූජක පක්ෂය සහ සත් වැනි ව මෘගපක්ෂීන් හෙවත් සත්ත්ව ප්‍රජාව ය.
      මෙයින් සමස්ත මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව රැකගැනීමේ වගකීම රජය සතු බව පෙන්වා දෙනු ලැබේ. රක්ෂාවරණගුප්තිය යන්නෙන් ත්‍රිවිධාකාර ආරක්ෂාවක් සැපයීම කියැවෙන බව අටුවාව විස්තර කරයි. ආහාරපාන ආදිය සැපයීමෙන් ලබා දෙන ආරක්ෂාව පළමු වැන්න ය. ආවරණ යනු නිවෙස්, ඇඳුම් ආදිය සැපයීම යි. තෙවැන්න ගුප්තිය යි. එනම් විශේෂ අවස්ථාවන්හිදී සැලසිය යුතු විශේෂ ආරක්ෂක සංවිධානය යි. රටක ආක්‍රමණ වැනි අවස්ථාවලදී, යුද්ධ තත්ත්ව ඇති විට සලසන රැකවරණය එයට අයත් වේ.
මේ විස්තරය අනුව රටවැසියන්ගේ සියලු ආර්ථික කටයුතු රජය විසින් සැපයිය යුතු ය යන්නක් ගම්‍ය වේ යැ යි යමකුට සිතිය හැකි යි. එහෙත් එය එසේ නොවන බව කූටදන්ත සූත්‍රයෙහි ඇතුළත් ආර්ථික සංවිධානය පිළිබඳ විස්තරයෙන් හෙළි වේ. එහි කියැවෙන පරිදි රටේ ආර්ථික සංවිධානය ගොඩනැංවිය යුත්තේ රජයේ ද පෞද්ගලික අංශයේ ද සම්බන්ධය ඇති ව ය.
රටක විවිධ දක්ෂතා ඇති, විවිධ රුචිකම් ඇති පුද්ගලයෝ වෙති. ගොවිතැනෙහි නිරත වීමට කැමැති එවැන්නවුන්ට බීජ ධාන්‍ය, පොහොර, ගවයන්, නගුල් වැනි ගොවි උපකරණ සපයා, ඔවුන්ගේ අස්වැන්න ලබාගන්නා තෙක් ආහාරපාන සැපැයීම රජයේ කාර්යභාරයට අයත් වේ. මෙසේ කෘෂිකර්මය දියුණු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු ලෙස දැක්වේ.
වාණිජ කටයුතු සඳහා උනන්දු වෙන්නෝ වෙති. ඔවුන්ට මූලධනය අවශ්‍ය ය. රජය විසින් එය සැපැයීමට ක්‍රියා කළ යුතු ය. සාර්ථක වාණිජ ව්‍යාපාර බිහි වන්නේ එවිට ය.
රාජ්‍ය සේවා සඳහා කැමැත්තක් දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද රටක දැකිය හැකි යි. ඔවුන්ට රැකියා සැපැයෙන විවිධ කර්මාන්ත බිහි කිරීමත්, විවිධ රාජ්‍ය සේවා ඇරැඹීමත් මගින් රාජ්‍ය අංශය ශක්තිමත් ලෙස පවත්වා ගෙන යා යුතු ය.
      පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා රජයේ දිරි දීම හා රජයේ සහභාගිත්වය, පෞද්ගලික අංශය මෙහෙයැවීමටත් එහි දූෂණ අක්‍රමිකතා නැති කිරීමටත් අවස්ථාවක් රජයට ලබා දෙයි. මහා පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධයෙන් මේ තත්ත්වය ඉතා හිතකර ප්‍රතිඵල ලබා දීමට සමත් වේ.
      සුළු පරිමාණයෙන් නොයෙකුත් ශිල්ප කර්මාන්තයන්හි යෙදෙන්නෝ රැසක් රටක වෙසෙති. ඔවුන්ට අවශ්‍ය දිරි දීම් සොයා බලා සැකැසීම ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථකත්වයට මෙන් ම රටේ පොදු ආර්ථික සංවර්ධනයට ද හේතු වේ.
      බදු ප්‍රතිපත්තිය රට වැසියාට හිතකර පරිදි ගොඩනැංවීම සඳහා ඉදිරිපත් වී ඇති කරුණු ද රැසකි. නුසුදුසු බදු හා නුසුදුසු අවස්ථාවල බදු අය නොකිරීම ඒ අතර ඉතා වැදගත් වේ. රටේ දුෂ්කර සමයන්හි අතිරේක බදු අය කිරීමට ද, ඇතැම් දුෂ්කරතාවන්ට මුහුණ පෑ ජන කොටස් සඳහා සමෘද්ධිමත් පුද්ගලයන්ගෙන් විශේෂ බදු අය කිරීම ද කාලානුරූප ව කිරීම අනුදැන ඇත.
      පවුල නම් වූ කුඩා ම සමාජ ඒකකය සුරක්ෂිත වූ ද ස්ථාවර වූ ද පදනමක පිහිටුවීම රජයක වගකීමකි. දරුවන් සමඟ පී‍්‍රතියෙන් බිය සැකයෙන් තොර ව මිනිසුන්ට ගෘහ ජීවිතය ගත කිරීමට හැකි වන අයුරු පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කූටදන්ත සූත්‍රයෙහි පෙන්වා දී තිබේ. මේ සඳහා රටේ කැරලි, සොරකම් ආදිය නැති ව යා යුතු ය. මිනිසුන් කණ්ඩායම් ගැසී මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවලට පෙලඹෙන්නේ ඔවුන්ට කළ හැකි රැකියා රටෙහි නැති වූ විට ය. ඒ නිසා වැඩ කළ හැකි හැම රට වැසියකුට ම යෙදීමට ජීවනෝපාය සලසාගැනීමට රැකියාවක්, වෘත්තියක්, ශිල්පයක්, කර්මාන්තයක් හෝ සේවාවක් තිබෙන බවට රජය වගබලාගත යුතු ය.
      මෙයින් පැහැදිලි ව පෙන්වා දී ඇත්තේ රටවැසි සැමගේ සියලු අවශ්‍යතා සපයා දීම රජයේ කාර්යයක් ය යන්න නො වේ. එය කවර අයුරින් හෝ සිදු වන බවට වගකීම රජය දැරිය යුතු යි. රැකියා අවස්ථා සැපැයෙන පරිදි පෞද්ගලික අංශය මෙහෙයවීම රජය සතු වගකීම ය. එසේ ම ජනතාව පීඩාවට පත් නොවන අයුරු, දූෂණය, අපරාධ, සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීම රජය සතු වගකීම ය. සක්විති වත්හි එක වගන්තියකින් කියැවෙනුයේ රටේ අපරාධ සිදු නොවන පරිදි සාමය පවත්වාගෙන යෑමේ වගකීම රජය සතු වන බව ය.
      ධනවාදි ආර්ථිකයක පෞද්ගලික අංශය මෙන්, මිනිසා ද ආර්ථික භාණ්ඩ බවට පත් කරගත්, ලාභය එක ම අරමුණ වූ නිහීන තත්ත්වයකට, බෞද්ධ සදාචාරය විසින් හැසිරැවෙන ආර්ථික පෞද්ගලික අංශය කිසි විටෙක පත් නො වේ. එහෙත් පෞද්ගලික අංශය විසින් එතරම් සැලකිල්ලක් නොදැක්වෙන සමාජ කොටස් රටක තිබිය හැකි යි. සමාජ සේවාවන්හි නිරත වුව ද එවැනි කොටස් සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට පෞද්ගලික අංශය අපොහොසත් විය හැකි යි. එසේ ම රජයකට විනා සාර්ථක ව මුහුණ දිය නොහැකි භෞතික වූ හෝ සමාජීය වූ හෝ ප්‍රශ්න රටක පැනනැඟීමට අවකාශ තිබේ. මේ නිසා රජය විශේෂයෙන් සොයා බැලිය යුතු අංශ කිහිපයක් ද වෙයි:

* නිෂ්පාදන ආර්ථිකයට සහභාගි නොවන පැවිදි පිරිස්
* විවිධාකාර ශාරීරික මානසික ආබාධයන්ගෙන් පෙළෙන අසරණ පිරිස්
* යුද්ධ, කෝලාහල, ගැටුම් පවතින අවස්ථාවන්හිදී අනාථ වන පිරිස්
* ආපදාවන්ට ලක් වී අනාථ වන ජනතාව

මෙවැනි ජන කොටස් කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය සැපයීම අත්‍යවශ්‍ය කාර්යයකි.
මෙතෙක් සාකච්ඡා කළ කරුණුවලින් හෙළි වනුයේ යහ පාලනයක අපේක්ෂිත සියලු යහපත් ලක්ෂණ බුදු දහමෙහි රාජ්‍ය පාලන උපදෙස් තුළ ඇතුළත් බව යි. තව ද කරුණු රැසක් සූත්‍ර ධර්මයන්හි දක්නට ලැබෙතත්, ආර්ථිකය සංවිධානයෙහි ලා රාජ්‍ය අංශයෙන් බලාපොරොත්තු වන කාර්යභාරය තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත් ය.
-ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි

No comments:

Post a Comment