Monday, January 21, 2013

*පණ්ඩිතයා හඳුනා ගන්නේ කෙසේද?

         "එයා හරිම පණ්ඩිතයි. අපෝ එයත් එක්ක වැඩක් කරන්න බැහැ. එයා පණ්ඩිත වැඩියි. කියන කිසි දෙයක් අහන්නේ නෑ. පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැහැ" ආදී ලෙස සාමාන්‍යයෙන් පණ්ඩිතයා පිළිබඳ අප කතා කරයි. එක් එක් පුද්ගලයා පිලිබඳ ඒ අනුව විග්‍රහ කරයි. එත් ඇත්තටම පණ්ඩිතයා යනු කවරෙක්ද යන්න පිළිබඳව නිවැරදි වැටහීමක් අපට තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. සාමාන්‍ය විග්‍රහයේදී අප පණ්ඩිතයකු ලෙස හඳුනා ගන්නේ කියන දෙය නොඅසන, තනි මතයට වැඩ කරන, අන් අය සමග සුහදශීලී ලෙස වැඩ කළ නොහැකි, හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්වය. එසේ වුවත් බුදුදහම පණ්ඩිතයා පිළිබඳව සාකච්ඡා කරන්නේ එයට හාත්පසින්ම වෙනස් වූ අර්ථ විග්‍රහයකිනි. සාමාන්‍යයෙන් අප වටහා ගෙන ඇති ස්වරූපයට වඩා වෙනස් ලෙසිනි. ඒ නිසා මෙහිදී උත්සහ කරන්නේ බුදුදහමට අනුව පණ්ඩිතයා පිලිබඳව කෙටි විමසීමක් සිදු කිරීමටයි. පණ්ඩිතයාගේ ලක්ෂණ හා ඔහුගේ ස්වරූපය පිළිබඳව අංගුත්තර නිකායේ තික නිපාතයෙහි බාල වග්ගයෙහි කරුණු ගණනාවක් දැක්වෙයි. එනම් :-
  •  යහපත් සිතිවිලි සිතයි.
  •  යහපත් වචන කතා කරයි.
  •  යහපත් දේ සිදුකරයි.
  •  වරද වරද වශයෙන් දකියි.
  •  වරද වරද වශයෙන් පෙන්වා දුන් විට පිළිගනියි.
  •  වරද වරද වශයෙන් පිළිගෙන ඊට නිසි පිළියම් සිදු කරයි.
  •  නුවණින් ප්‍රශ්න අසයි.
  •  අර්ථවත් ලෙස අනුන් විසඳූ විසඳුම පිළිගනියි.
  •  උවදුරු රහිත වෙයි.
  •  බිය රහිත වෙයි.
  •  විපත් රහිත වෙයි. යනුවෙනි.
        ඒ වගේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහිද පණ්ඩිතයා යනු කවරෙක්ද යන්න පිළිබඳව කරුණු දැක්වේ. ඒ මේ ආකාරයෙනි.
  •  ශ්‍රද්ධාවන්ත වේ.
  •  ශීලවන්ත වේ.
  •  පවට ලැජ්ජා වෙයි.
  •  පවට බිය වෙයි.
  •  වීර්යවන්ත වෙයි.
  •  බොහෝ කුසල් රැස්කරන්නෙක් වේ.
        එමෙන්ම ධම්මපදයෙහි බාලවග්ගයේ සඳහන් වන්නේ යම් පුද්ගලයකු තමාගේ අනුවණකම දන්නේ නම් ඒ තැනැත්තා පණ්ඩිතයකු බවයි. (යො  බාලො ම[a[ති බාල්‍යං - පණ්ඩිතො වාපි තෙන සො)
    මේ අනුව බුදුදහම පණ්ඩිතයා පිළිබඳව විග්‍රහ කරන්නේ සාමාන්‍ය අර්ථ විග්‍රහයෙන් පරිබාහිරව බව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. ඒ වගේම විභාග සමත් කළ පමණින්ම පුද්ගලයකු පණ්ඩිතයකු නොවන බවද තේරුම් ගත යුතුය. ඒ නිසා පිළිවෙත් සරු නැණ ගුණයෙන් යුතු පුද්ගලයාම පණ්ඩිතයකු බව වටහා ගත යුතු වේ.
                                                                                          -ශාස්ත්‍රපති පූජ්‍ය උඩබද්දාවේ අස්සජී හිමි

2 comments:

  1. ඔබ විසින් මෙම ලිපියට උදාහරනයක් ලෙස ගෙන තිබෙන"පණ්ඩිතයාට ඒදන්ඩේ යා නොහැක" යන්න නිවැරදි කියමන නොවන බවයි,එය"පංඩිතයාට ඒදන්ඩේ යා නොහැක"ලෙස නිවැරදි විය යුතුයි,මන්ද පං ඩිතයා යනු "කරේ බඩු එල්ලූ කදක් තබාගෙන යන්නා"යන අරුතයි,ඔහුට එම කද වැනීම නිසා ඒ දණ්ඩේ යා නොහැක

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉගෙනගත්තා.ස්තූතියි

      Delete