Sunday, January 20, 2013

*කයෙහි තිබෙන ඇත්ත

කයෙහි තිබෙන ඇත්ත ගැනම පවතීවා නිතර සිහිය…

    සැබැවින්ම ගෞතම බුදුරජුන්ගේ ධර්මය අසිරිමත් එකකි. කා – බී – වැතිර කාම සැපයම ජීවිතයේ එකම අරුත වශයෙන් ගෙන, සසරේ අතරමංව සැරිසරන දෙව් මිනිස් ලෝකයාට ඒ නිස්සාර සසරෙන් එතෙර වී සදාතනික සැපය සාක්ෂාත් කරන්නට මග විවර කර දෙන්නේ ඒ ශ‍්‍රී සද්ධර්මය පමණි. මායා මෝහ පටල දුරලා ජීවිතයේ සැබෑ ස්වභාවය පෙන්වා දෙන ඒ ශ‍්‍රී සද්ධර්මය කෙනෙකුට අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇතැම් විට ඒ සඳහා කල්ප ගණනාවක් වුවත් ගතවන්නට පුළුවනි.

එහෙත්…. පිපාසයට පැන් බිඳක් හෝ නොමැතිව නිරුදක කතරක අතරමංව, ක්ලාන්ත වී සිටින මිනිසෙකුට පැන් දෝතක් ලැබුණොත් ඔහුට ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි අන්දමේ පිහිටකි. එලෙසින්ම සසරේ අතරමංව නිරයෙන් – නිරයට, අපායෙන් – අපායට යමින් කෙළවරක් නොපැණෙන සසරක සැරිසරන මනුෂ්‍යයෙකුට මේ ශ‍්‍රී සද්ධර්මය අමෘතය බඳුය. කෙලෙස් පිපාසය සංසිඳුවයි. නිරුදක කතරට වඩා සැම අතින්ම බියකරු සසර කතරින් එතෙර කරවයි. එහෙත් ඒ සොඳුරු මොහොත දැන් ඔබට උදා වී තිබේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නුවණ මෙහෙයවිය හැකි නම්….. ඔබ සැබැවින් ම වාසනාවන්ත ය. මෙම සටහන ඒ සඳහා ඔබට අවස්ථාව විවර කරදීමට ගන්නා සුළු උත්සාහයකි.

උපන් දා පටන් ‘මගේ, මගේ’ යැයි පවසමින් උජාරුවෙන් ලොවට හඬ ගා කියන්නට වෙර දරන ඔබේ ඔය සිරුර දෙස මොහොතක් හැරී බලමු. සෑම දිනකම නොවරදවාම නහවන, ඉලීම් – පිරිමැදීම් ආදියෙන් පිරියම් කරන, සුවඳ පැන් – විලවුන් ගල්වන, ආහාර ආදියෙන් පෝෂණය කරවන, නානාප‍්‍රකාරයේ ඇඳුම් ආයිත්තම් ආදියෙන් හැඩ වැඩ කරන්නට වෙහෙස දරන මේ සිරුරේ සැබෑ ස්වභාවය කෙබඳු දැයි ඔබ කෙදිනක හෝ සිතා තිබේද?

ජීවිතයේ සැබෑ තතු නොදන්නා මිනිසුන් මේ ‘කය’ සාරවත් දෙයක් ලෙස සිතුවද, ජීවිතය අවබෝධ කොට ලොවට නොඇලී, ලොවින් නිදහස් වූ මුනිවරු නම් ඇට, මස්, නහරින් ගැවසී ගත් කය දෙස බැලූවේ මේ අයුරිනි.

“මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒ අය මේ ශරීරය විසිතුරු ලෙස සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නැහැ.

මුතු මැණික් ආභරණවලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වය මයි දැකිය යුත්තේ. ලස්සනට පේන්නේ ඇඳුම නිසා.

යටි පතුල් පාට කොට තිබුණ ද, සුවඳ බුලත්විට කා මුඛය සුවඳ කරගෙන හිටිය ද, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ.

කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට එයින් වැඩක් නැහැ.

මේ කුණු ශරීරය තියාගන්නට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ.”

                                                                                    (රට්ඨපාල තෙරුන් ගේ ගාථා – ථේර ගාථා)

මෙබඳු වූ ස්වභාවයකින් යුතු කය පිළිබඳව සැබෑ තත්වය නොදන්නා පුහුදුන් ජනයා මේ කය සම්බන්ධයෙන් දක්වන පුරාජේරුව කොතරම් මහත්ද? එයට හේතුව කයෙහි සැබෑ ස්වභාවය නොදන්නාකම ම විනා අන් කවරක්ද?

වෙළඳපලෙහි ඇති නානා මාදිලියේ සුවඳ විලවුන් වලින් වසන්නට තැත් කරන්නේ ඒ කයෙන් හමනා දුගඳ ය. විවිධාකාරයේ ආලේපන වලින් මකා දමන්නට තැත් කරන්නේ රැළි වැටී යන සම ය. නොයෙක් නම් වලින් යුතු සබන් ආදියෙන් පිරිසිදු කරන්නට උත්සාහ ගන්නේ සිරුරෙහි වන අපිරිසිදු දෑ ය. එහෙත්…. නිරන්තරයෙන් අපිරිසිදු දේ වහනය වන මේ කය පිරිසිදු කොට අවසන් කිරීමක් නැත!

නමුත් අපට එක් දෙයක් කළ හැකිය. එනම් කය අවබෝධ කිරීමයි. කය අවබෝධ කොට, කයෙන් නිදහස් විය හැකිය. එවිට නම් නැවත නැවතත් කය පිරිසිදු කිරීමක් නැත. සුවඳ විලවුන්, සුවඳ පැන්, ආලේපන ආදියෙන් ද සදහටම නිදහස් විය හැකිය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.

වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? එ් නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”

                                                                                                   (නකුලපිතු සුත්ත – ස.නි.)

අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?

උපන් දා පටන් (බොහෝ විට මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්ඡුකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ – නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.

එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”

                                                                                                        (මාගන්දිය සුත්ත – සු.නි.)

සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.

මෙතරම්ම අපිරිසිදු, මෙතරම්ම පිළිකුල් දෙයින් නිමැවී මේ කය දෙස සුන්දර ලෙස බලන්නට අප පෙළඹුණේ මක් නිසාදැයි ඔබ කල්පනා කොට තිබේද? අපගේ ශාස්තෘන් වහන්සේ එය පැහැදිළි කළ සේක. අවිද්‍යා අන්ධකාරය තුළ සිටින සත්වයා යමක් හඳුනාගන්නේ එහි සත්‍යය ස්වභාවයෙන් ම නොවේ. එය ධර්මයෙහි හඳුන්වන්නේ ‘සඤ්ඤා විපල්ලාසය’ හෙවත් විපරීත හඳුනාගැනීම වශයෙනි. එම විපරීත හඳුනාගැනීමට අනුව අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීමටත්, දුක් දේ සැප ලෙස දැකීමටත්, අනාත්ම (ස්වකීය වසඟයෙහි පවත්වාගත නොහැකි) දේ ආත්ම ලෙස දැකීමටත්, අසුභ දේ සුභ වශයෙන් දැකීමටත් තරම් මුලා වී සිටිති.

යථාර්ථය දැකීම යනු මෙය නොවේ. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකීමත්, දුක් දේ දුක් හැටියට දැකීමත්, අනාත්ම දේ අනාත්ම හැටියට දැකීමත්, අසුභ දේ අසුභ හැටියට දැකීමත් යථාර්ථයයි. අහෝ! සසරෙහි සැරිසරන අප කොතරම් මුලා වී ඇද්ද?

මේ මුලාවෙන් අපව මුදවා ගන්නේ සියල්ල දන්නා, සියල්ල දක්නා, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මුල මැද අග පිරිසිදු ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි ලෙස අර්ථ මතුවන ආකාරයට පරිපූර්ණ වූ නිවන් මඟ දේශනා කරන ලද්දේ ඒ උදෙසා ය. උන්වහන්සේ විසින් දේශිත ඒ ශ‍්‍රී සද්ධර්මය මුළුමනින්ම යොමු වී ඇත්තේ මේ මෝහ ජාලය බිඳ හැර සත්‍යාවබෝධ කරවන්නට ය. අවිද්‍යා අන්ධකාරය දුරු කොට ප‍්‍රඥාවේ ආලෝකය තුළින් සදාතනික ශාන්තිය උදාකර දීම පිණිස ය. කයෙහි යථා ස්වභාවය දෙස අප බැලිය යුත්තේ යථෝක්ත පාරිශුද්ධ අරමුණ මුදුන්පත් කරගැනීම පිණිස ය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.

වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? ඒ නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”

                                                                                             (නකුලපිතු සුත්ත – ස.නි.)

අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?

උපන් දා පටන් (ඇත්තෙන්ම මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්චකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ – නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.

එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”

                                                                                                                 (මාගන්දිය සුත්ත – සු.නි.)

සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.

කයෙහි යථා ස්වභාවය මැනැවින්ම දන්නා අයෙක් වේ නම්, ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. ලෝක සත්වයා මුලාවෙන් මුලාවට පත්වන්නා වූ මේ කයෙහි ඇත්ත ස්වභාවය බැලූ බැල්මට අපට ප‍්‍රකට නොවේ. එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට නුවණින් යුතුව විමසා බලන විට ය, මෙතෙක් කල් සුන්දරත්වයේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් සිතා සිටි මේ ශරීරයෙහි සත්‍ය ස්වභාවය පැහැදිලි වන්නේ.

කය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම්ම පුළුල් දැයි අපට යන්තමට හෝ සිතාගත හැක්කේ මෙබඳු සදහම් දෙසුම් සැදැහැ සිත් පුබුදුවාගෙන කියවා බලන කල්හි ය.

“මහණෙනි, බොහෝ වසර ගණනක් පැරණි ගඬුවක් (සැරව ගලන තුවාලයක්) යම් සේ වේද,එපරිද්දෙන් ම මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.

මහණෙනි, සැරව ගලන තුවාලය යනු සතර මහා භූතයින්ගෙන් හටගත්, මව් පියන්ගේ එක් වීමෙන් සම්භවය වූ, බත් මාළුපිණි ආදියෙන් වැඩෙන, අනිත්‍ය වූ ස්වභාව ඇති, ඉලීම් පිරිමැදීම් ආදියෙන් පවත්වාගත යුතු, වහා බිඳී යන ස්වභාව ඇති මේ කයට නමකි. මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.

එම නිසා මහණෙනි, මේ කය කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙන්න.”

                                                                                                            (ගණ්ඩෝපම සුත්ත – අ.නි.)

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අතිශය සෝභමාන වූ සම්බුදු සිරුරකට උරුමකම් කියූ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ මේ ශරීරයේ සැබෑ ස්වභාවයයි. මෙලෙසින් සත්‍යය තත්වය දකින්නට උන්වහන්සේ තම ශ‍්‍රාවකයන්ව පවා යොමු කරන ලද්දේ කාගේත් දෑස් අරවන අන්දමිනි.

වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.

“වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී,යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”

                                                                                                                    (වක්කලී සූත්ත – ස.නි.)
අනාවරණ ප‍්‍රඥා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට ඇති එකම මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තම ශ‍්‍රාවකයන්ව මැනැවින් හික්ම වූ අන්දම සැබැවින් අසිරිමත් ය. ඒ සොඳුරු දහම සාක්ෂාත් කළ උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලා ද කය දෙස බැලූවේ ලෝකයේ සාමාන්‍ය ජනයා දකින ආකාරයකින් නොවේ. අවිද්‍යා මෝහාන්ධකාරය සිඳබිඳලා සසරෙන් එතෙරට වැඩි ඒ මුනිවරුන්ගේ අවබෝධය දෙස මොහොතක් නෙත් යොමා බලන්න.

“එම්බා ඇටසැකිල්ලකින් කරවන ලද කුටියක් ඇති තැනැත්තිය, මස් නහරින් මසා දැමූ සිරුරක් ඇති කාන්තාව, අසුචි පිරුණු දුගඳ හමන සිරුරක් ඇති තැනැත්තිය, ඔවැනි ස්වභාවයකින් යුතුව සිට ගෙනද අනුන්ගේ සිරුර දෙස ‘මගේ… මගේ…’ යැයි සිතන තිට නින්දා වේවා!

එම්බා අසුචි පුරවා ගත් මල්ලක් වැනි සිරුරක් ඇති තැනැත්තිය, සමකින් වැසී ගිය සිරුරකින් යුතු තැනැත්තිය, පපුවේ ගෙඩි හදා ගත් තැනැත්තිය, පේ‍්‍රතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුර පුරා නිරන්තරයෙන්ම අසුචි වැගිරෙන තැන් නවයකි.

නව ද්වාරයකින් අසුචි වැගිරෙන තිගේ සිරුර ඉතා දුගඳයි. නිවන් දකින්නට ඇති විශාලම බාධාව ඔබේ ඔය සිරුරයි. නිකෙලෙස් ජීවිතයක් ගත කරන්නට කැමැති භික්ෂුව ඔය අසුචි වළ දුරු කළ යුතුමයි.

මා මේ අසුචියෙන් යුතු සිරුර ගැන දන්නේ දේ වෙනත් කෙනෙක් දන්නවා නම්, ඔහු මේ ස්ත‍්‍රිය බැහැර කරන්නේ වර්ෂා කාලයේදී උතුරා පිටාර ගලන වැසිකිළි වළක් දුරුකරන පරිද්දෙනි.”

                                                                                           (මහා මොග්ගල්ලාන ථේර ගාථා – ඛු.නි.)

මේ ස්වභාවය නොදත් සියල්ලන්ටම සිදුවූයේ ඉමක් කොණක් නොපෙනෙන සසරෙහි සැරිසරන්නටය. සැරිසරමින් දුක් විඳින්නට ය. කෙස් රොදින් පහළටත්, යටි පතුළෙන් උඩටත් සමකින් වට වූ මේ සිරුරෙහි සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තෝ සසරෙන් එතෙරට වැඩියහ.

එබැවින්….

නුවණ මෙහෙයවා යමක් සිතන්නට හැකි මිනිසත් බව ලද මේ මොහොතෙහි, කල්ප සියයකින් පවා ලබන්නට දුර්ලභ වූ සම්බුදු සසුනක් මුණ ගැසුණු මේ උතුම් මොහොතෙහි, බඹයක් පමණ වූ සිරුරක යථාර්ථය නොදැන, අල්ප වූ ආශ්වාදයකට මුලා වී තවදුරටත් මේ ඝෝර සසරේ අප සැරිසැරිය යුතු නොවේ. නුවණින් විමසා සත්‍යය පසක් කරන්නට තවත් ප‍්‍රමාද වන්නේ කුමටද?

                                                                                                                         - මීරිගම ඉන්දවංශ හිමි

No comments:

Post a Comment